Hermann Gmeiner School,

නිර්මාතෘවරු

හර්මන් මයිනර් විද්‍යාලයීය වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

page-header-1900x320.jpeg
hgs.png

     

    ආදිකතෘ හර්මන් මයිනර් මැතිතුමා

1919 ජූනි මස 23 වන දින ඔස්ට්‍රියාවේ දී උපත ලද මහාචාර්ය හර්මන් මයිනර් මැතිතුමා ලෝකයේ දෙමාපිය සෙනෙහස අවැසි දරු දැරියන් ලක්ෂ ගණනකට ආරක්ෂාකාරී පවුල් පරිසරයක සුන්දර ජීවිතයකට උරුමකම් ලබා දැන් දුන් ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙකි. දරුවන් විශාල ප්‍රමාණයක් සිටි පවුලක උපතලද මෙතුමාගේ මව මොහු කුඩා කලම මිය ගියාය. කුඩා හර්මන් මයිනර් හැදී වැඩුනේ සිය වැඩිමහල් සොයුරිය සෙවණේය.

මෙතුමා දෙවන ලෝක යුද්ධ සමයේදී යුධ සෙබලෙකු ලෙස කටයුතු කරන ලද අතර යුද්ධයෙන් පීඩා විඳින දරු දැරියන් විඳින අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් ඔහු නිරීක්ෂණය කළේ වේදනාවෙනි.


දෙවන ලෝක යුද්ධයෙන් පසුව මවුපියන් හෝ සමීපතමයන් අහිමිව පිළිසරණක් නොමැති දරුවන් පිළිබඳව මේ මානව හිතවාදියා සිය අවධානය යොමු කළේය. වින්දිතයන් බවට පත් වූ මේ දරු පැටවුන්ට ආදරය, රැකවරණය, ආරක්ෂාව සහ පවුල් පරිසරයක් නිර්මාණය කරදීම වෙනුවෙන් “මට කළ හැක්කේ කුමක්ද? එය මම කරමි” යැයි මේ මානව ප්‍රේමියා දැඩිව සිතට ගත්තේය.

1949 වසරේ එක්තරා උදෑසනක ඔස්ට්‍රියාවේ දුෂ්කර ගම්මානයක තවත් හිතවතුන් කිහිප දෙනකු සමඟ මේ මානව ප්‍රේමියා එස්.ඕ.එස්. ළමා ගම්මාන සංකල්පය මහපොළොව මත නිර්මාණය කළේය. මුළු ලොවම යුද භීතියෙන් වෙළී තිබූ අවධියක මේ ඓතිහාසික කාර්යභාරයට නායකත්වය දුන්නේ ඔස්ට්‍රියානු ජාතික මහාචාර්ය හර්මන් මයිනර් මහතාය. ඔහු එදා ඉතා කුඩාවට ආරම්භ කළ මේ මහා සමාජ මෙහෙවර අද ලෝකයේ රටවල් 135 කට අධික ප්‍රමාණයක ක්‍රියාත්මක වන ලොව සුවිශාලතම සමාජ සුබසාධන සංවර්ධන මෙහෙයුම බවට පත්ව ඇත. ළමා සුබසාධනය වෙනුවෙන් ලොව ක්‍රියාත්මක වන විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන්නේ ද එස්.ඕ.එස්. ළමා ගම්මාන සංවිධානයයි. ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් රජය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් මත එස්.ඕ.එස්. ළමා ගම්මාන සංවිධානය ශ්‍රී ලංකාවේ කටයුතු ආරම්භ කරන්නේ 1981 වසරේදීය. එවකට පිළියන්දල ආරම්භ කළ පළමු වන එස්.ඕ.එස්. ළමා ගම්මානයත් සමඟ අද වන විට නුවරඑළිය, ගාල්ල, අනුරාධපුරය, මොනරාගල සහ යාපනය යන දිස්ත්‍රික්කවල ළමා ගම්මාන හයක් සහ ඊට අනුබද්ධිත ව්‍යාපෘති 40 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මකය.


සෑම දරුවකුටම මවක්, එම දරුවාට ආධාර අනුග්‍රහය ලබා දෙන්නා වූ ග්‍රාමීය පරිසරයක්, දරුවාට තමාගේ යැයි කිවහැකි නිවසක් සහ එකට වැඩෙන සහෝදර සහෝදරියන් පිරිසක් යන්න එස්.ඕ.එස්. ළමා ගම්මාන සංකල්පය තුළ පවතින සුවිශේෂත්වයයි. දරුවාට තමාගේ යහපත සඳහා තීරණ ගැනීමේ පරිසරයක්, අධ්‍යාපනය, වෘත්තීය මාර්ගෝපදේශනය, සෞඛ්‍ය සහ පෝෂණය යන සියල්ල අන්තර්ගත විවිධ සේවාවන් සමූහයක් එස්.ඕ.එස්. ගම්මාන තුළ සිටින දරුවන්ට ලබා දෙමින් ‘පූර්ණ රැකවරණය’ කුමක්ද යන්නට පූර්වාදර්ශ සපයමින් ඇත.

ලොව පුරා රටවල් 135 කට අධික ප්‍රමාණයක මිලියන ගණනක් වූ දරුවන්ට අනාගතය ගොඩනඟන එස්.ඕ.එස්. ළමා ගම්මාන සංවිධානය ශ්‍රී ලංකාවේ දරුවන් විශාල ප්‍රමාණයකට රැකවරණය සලසමින් සිටී. සිය යුග මෙහෙවර බොහෝ කලක් ශක්තිමත්ව යන්නට මාර්ගය සකස් කළ මෙතුමා වර්ෂ 1986 අප්‍රේල් 26 වන දින අභාවප්‍රාප්ත විය